නත්තල් අළුත් අවුරුදු ෂොපිං යද්දි මේ කරුණු හිතේ තියාගෙන ගියොත් ලොකු මුදලක් ඉතිරි වේවි! #SriLanka #LKA

නත්තල් සහ අලුත් අවුරුදු සමය ළඟ ළඟම එනවා. අවුරුද්දක් ගෙවිල යන්න ඔන්න මෙන්න තියල උදාවෙන මේ උත්සව සමය දිහා කවුරුත් සතුටු සිතින් තමයි බලාගෙන ඉන්නෙ. තෑගි දෙන්න, තෑගි ලබන්න, සාද උත්සව පවත්වන්න ප්ලෑන් ගොඩයි. ගොඩක් දෙනෙක් බොහොම නිදහසේ වියදම් කරන්න පෙළඹෙන සමයක් මේක. ඒ පෙළඹවීම ඇති කරන්නට මේ කාලෙට කඩ සාප්පු පවා බොහොම ජේත්තුවට සැරසෙනවා.

ඉතිං මේ නත්තල් සහ අලුත් අවුරුදු සමයේ ෂොපිං යන්න පුල පුලා බලා ඉන්න ඔයාලට වටිනා කියන උපදෙස් ටිකක් දෙන්නයි මේ ලිපියෙන් අපි සූදානම් වෙන්නේ. මේ කියන සරළ කරුණු වලට අවධානය යොමු කලොත්, අනවශ්‍ය විදිහට මුදල් නාස්ති වෙන එක වැළකිලා. උත්සව සමය ගෙවිල ගියාට පස්සෙත් හිතේ සැනසීම ඉතුරු වේවි!

 

1. බජට් එක වෙන් කරන්න
Source – coxclarkcom.files.wordpress.com

අතේ සල්ලි තියනවා කියලා හරි, හැමදාම නත්තල් නෑනෙ කියලා හිතලා හරි හිතුමතේ වියදම් කරන්න යන්න එපා. තමන්ට මිලදී ගන්න තියන දේවල් සඳහාත්, අනිත් අයට දෙන්න හිතන් ඉන්න තෑගි බෝග වගේ දේවල් වලටත් වියදම් කරන්න බජට් ලිමිට් එකක් හදාගන්න. තමන්ට සහ තමන්ගේ පවුලේ අයට දේවල් මිලදීගන්න වෙන් කරන්න හිතන් ඉන්න මුදලත්, තෑගි බෝග වලට වියදම් කරන්න හිතන් ඉන්න මුදලත් වෙනම සටහන් කරගන්න.

 

2. තමන් වෙනුවෙන් ගන්න දේවල් ගැන නැවත හිතන්න
Source – nandabezerra.com, androidauthority.com

මුලින්ම කල්පනා කරන්න මේ සීසන් කාලෙදි තමන් හෝ තමන්ගේ පවුල වෙනුවෙන් මිලදී ගන්න අත්‍යාවශ්‍යම දේවල් මොනවද කියලා. ගෙදර තියන අඩුපාඩු, කැඩුණු සහ නැවත මිලදීගත යුතු බඩු, මිලදී ගත යුතුම ඇඳුම් පැළඳුම් වගේ දේවල් තියනවනම් අනිවා ඒ දේවල් වලට මුල් තැන දෙන්න. ඊට පස්සෙ හිතන්න ගන්න ඔයා මිලදී ගන්න ආස කරන දේවල් මොනවද කියලා. ඒ කිවුවෙ අත්‍යාවශ්‍යම නැති, ඒත් හිතේ ආසාවට ගන්න හිතන් ඉන්න දේවල් ගැන. අත්‍යාවශ්‍යම දේවල් වලට මුදල් වෙන් කලාට පස්සේ ඒ විදිහේ බඩුවක් දෙකක් මිලදීගන්න මුදලක් ඉතිරි වෙනවානම් ඒ වගේ සතුටු හිතෙන මිලදී ගැනීමක් වෙනුවෙන් ඒක වෙන් කරන්න පුළුවන්.

 

3. අනිත් අයට තෑගි බෝග ගන්න ප්ලෑන් කිරීම
Source – gfycat.com

අනිත් අයට තෑගි බෝග දෙන්න ප්ලෑන් කරද්දිත් ඒකට වෙන වෙනම ප්‍රමුඛතා පිළිවෙලක් දෙන්න මතක තියාගන්න. තමන්ගෙ ගෙදර අය, නෑදෑයො, ජීවිතේට සමීප අය වගේ තෑගි ලැබිය යුතු අයගේ පිළිවෙලක් හදාගන්න. ඒ ඒ අය එක්කෙනෙක් වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් මුදල බජට් එක ඇතුලෙ පැහැදිලිව හදාගන්න. ඒ ගණනට සරිලන තෑග්ගක් ගැන කලින්ම හොයලා කරලා හිතේ තියාගන්න.

 

4. බඩු ලිස්ට් එකක් හදලා ඔන්ලයින් රිසර්ච් පාරකුත් දාන්න
Source – attinternetservice.com

බජට් එක හදපු ගමන් ෂොපින් දුවන්න ලෑස්ති වෙන්න එපා. ඊට කලින් තමන් ගන්න ප්ලෑන් කරන් ඉන්න බඩු ලැයිස්තුවක් හදලා ඒවායේ මිල ගණන්, කොලිටිය ගැන එහෙම පොඩි ඔන්ලයින් රිසර්ච් පාරක් දාලම ඉන්න. මේ වෙද්දි අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් කරන්න පුළුවන් වගේම ගෙදරටම බඩුව ගෙන්නගෙන සල්ලි ගෙවන්න පුළුවන් ෂොපිං සයිට් ඕනෙ තරම් තියනවා. හොඳ ෂොපිං ඩීල්ස් තියන සයිට්සුත් තියනවා. මේ හැම එකක්ම පිරික්සල බලල තමන් ගන්න හිතන් ඉන්න දේවල් කොලිටියටත්, වැඩි ලාභයක් ඇතුවත් ගන්න පුළුවන් තැන් නෝට් කරගන්න. ඒ වගේම විශේෂයෙන් හිමිවෙන වට්ටම්, බැංකු කාඩ්පත් වලින් ගෙවීමේදී ලැබෙන වට්ටම් ගැනත් හොයල බලන්න. ඒ ඒ භාණ්ඩ ගැන වෙනත් පාරිභෝගිකයො දක්වලා තියන අදහසුත් හොයල බලන්න.

 

5. කල්තියා ෂොපින් පටන් ගන්න
Source – buzzfeed.com

නත්තලට, අලුත් අවුරුද්ද උදාවෙන්න දවසක් දෙකක් තියලා ෂොපිං කරන එකනම් එච්චර නුවණට හුරු වැඩක් නෙමෙයි. ඒ වෙද්දි ගොඩ දෙනෙක් පාරට බැහැලා, සාප්පු වල තද බදේට ලක්වෙලා තියෙන්නෙ. ඒ වගේ අවස්ථාවල නිදහසේ අපිට අවශ්‍ය දේවල් තෝරගන්නත් අමාරුයි. කලබලේ, තදබදේ අස්සෙ කොලිටි අඩු, සල්ලි නාස්තියට ලක්වෙන බඩු මිලදී ගැනෙන්නත් ඉඩ තියනවා. සමහර කඩ සාප්පු එහෙම තමන්ගේ විකිණෙන්නෙ නැති බාල බඩුත් විකුණන්න දාන්නෙ මේ කළබලයෙන්, තද බදයෙන් ප්‍රයෝජන ගන්නයි. යම් යම් කාල සීමා වලදි සුවිශේෂී විදිහට මිල අඩුවෙන බඩු හැරෙන්න අනිත් අවශ්‍ය කරන බඩු භාණ්ඩ මිලදී ගන්න පුළුවන් තරම් කල් ඇතුව යන එක මේ නිසා නුවණට හුරු වේවි.

 

6. කාඩ් නැතුව කෑෂ් වලින්ම ගෙවන්න බලන්න
Source – financialexpress.com

ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් එකක් අරගෙන ෂොපිං කරන්න යනවා කියන්නේ අපේ ඇඟට පතට ගාණක් නැතුව සනීපෙට වියදම් කරන්න මග පෑදෙන ක්‍රමයක්. අපිටත් නොදැනීම ලේසියෙන්ම අපේ බජට් කුඩු වෙලා ලිමිට් අවුට් වෙලා යන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳම ක්‍රමේ තමයි කෑෂ් වලින්ම ගෙවලා ෂොපිං කරන එක (බැංකු කාඩ්පත් වලට සුවිශේෂී වට්ටමක් නොලැබෙනවානම්). එතකොට මුදල් ක්ෂය වෙන විදිහ අපේ අතට, හිතට දැනෙනවා, ෂොපිං කරද්දි වැඩි පරිස්සමක් වෙන්නත් අපේ හිතට බල කෙරෙනවා.

 

7. කාඩ් වලිනුත් ගන්න වැඩ තියනවා
Source – loyaltymatters.net

බැංකු කාඩ් වලින් ගෙවීම් කරද්දි විශේෂ වට්ටම් ලැබෙන තැන් වලදි විතරක් ඔයාට පුළුවන් ඒ ආකාරයෙන් ගෙවීම් කරන්න. බැංකු කාඩ් ඇරුණහම මේ උත්සව සමයෙදි ෂොපිං කරද්දි අපිට වාසියක් සලසන තවත් කාඩ් වර්ග තියනවා. ඒ තමයි ලෝයලිටි කාඩ්. අපි ඇඳුම් පැළඳුම් ගන්න කඩ, සුපර් මාර්කට් වලින් එහෙම දීල තියන මේ විදිහෙ කාඩ් වල තියන රිවෝඩ් පොයින්ට්ස් මුදල් බවට හරවගෙන නිදහස් කරගන්නටත්, ඒ මගින් ඔයාගෙ බිලෙන් සැළකිය යුතු කොටසක් අඩු කරගන්නටත් හොඳම කාලය තමයි මේ වසර අවසාන ෂොපිං සමය.

 

8. තනියට එක්කගෙන යන අය ගැනත් අවධානය යොමු කරන්න
Source – belmodo.be

තමන්ගෙ පාට්නර් එක්ක හරි, පවුලේ අය එක්ක හරි, යාලුවෙක් එක්ක හරි ෂොපිං කරන එක තනියෙන් ෂොපිං යනවට වඩා විනෝදජනක වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ අයගෙ වියදම් පුරුදු එච්චර හොඳ  නැත්නම් විනාසයක් වෙන්න ඉඩ වැඩියි. දකින දකින තැන නැවති නැවති එක එක ඒව කන බොන පුරුද්දක් තියෙන කෙනෙක් නම් ඉතින් ඒ වැඩේට වෙනම මුදලක් වැය කරන්න වෙනව. ඔයා මිලදී ගන්න හිතලවත් නැති භාණ්ඩයක් ඒ අයගේ පෙරැත්තයන් නිසා මිලදී ගැනෙන්න බල කෙරෙන්න ඉඩ තියනවා. අන්න ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් අවධානෙ යොමු කලාට වරදක් නෑ.

 

දැන් අපි ඉහතින් කිවුවේ නත්තල් සහ අලුත් අවුරුදු ෂොපිං යාමේදී පිළිපැද්දොත් බොහොම වාසිදායක වෙන්න පුළුවන් උපදෙස් ටිකක්. මේ විදිහට වැඩ කරන එක ටිකක් බෝරිං වෙන්න පුළුවන්. ඒ වුණත් උත්සව සමයේ විනෝදාශ්වාදය ගෙවිල ගියාට පස්සේ ක්‍රෙඩිට් ණය ඉහල ගිහිල්ලා, හිතුවට වඩා සේවිංග්ස් හිඳිලා ඉන්නවට වඩා සැනසීමක් දැනේවි වැඩෙත් කරගෙන, මුදලුත් ගාණට බැලන්ස් කරගෙන තියනවාය කියල හිතෙද්දි.

 

 

Cover Image Source – deccanchronicle.com

The post නත්තල් අළුත් අවුරුදු ෂොපිං යද්දි මේ කරුණු හිතේ තියාගෙන ගියොත් ලොකු මුදලක් ඉතිරි වේවි! appeared first on Aniwa.lk – අනිවා ඔබටම විනෝදවන්න, වැඩදායී, සිත්ඇදගන්නා ඔරිජින්ල්ම, ගොසිප් නැති, පොලිටික්ස් නැති සිංහල ලිපි හා වීඩියෝ.

Source From aniwa
Author: N J
#SriLanka #News #lka

Powered by WPeMatico